Friday, November 30, 2018

නොදුටු ගීයක් - කපුගේගේ විලාපය

නොදුටු ගීයක් - කපුගේගේ විලාපය

උදේ පාරේ තදබදය හරිම වැඩියි. නුවර ඉඳන් ගම්පොලට යන්න පැයකට වඩා යනව. අදත් හෙමින් හෙමින් යනවිට හීරුස්සගල හන්දිය හරියෙදි පුරුදු ගීතයක් ඇසුණ. කිහිප වතාවක් අසා තිබුණත් ගීතයේ පද දෙස මම කිසි දවසක අවධානයක් යොමු කරල තිබ්බෙ නෑ.

පලමු වතාව ඇසුවත් සමහර පද පැහැදිලි උනේ නැති නිසා ගීතය නැවත නැවතත් වාදනය කරන්න උනා. තදබදය ඔස්සේ ගලහ හංදියට යන විට ගීතය තුන් වතාවක් අසා ඉවරයි. ඒ වෙද්දි ගීතයේ වචන කොයිතරම් හිතට වැදිල තිබ්බද කිවුවොත් නෙතට සිහින් කඳුලකුත් නැගිල තිබුණ.

---------------------------------------------
සොඳුර නුඹ ලිහිණියක - රුයේ අඳුරට හඬන
මමද ලිහිණියෙකු වෙමි - කැඩුණු තටු පිරිමදින

අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
සිඳී ගිය ගඟ දෑල හැර දැමූයේ කවුද
සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි තරු එළිය

කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට
කියා දෙමු පියඹන්න අපි අපේ පැටවුන්ට
නිදහසේ තටු ලැබුණ කුරුල්ලන් වී දිනෙක

පද : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය හා ගායනය : ගුණදාස කපුගේ
https://www.youtube.com/watch?v=5dlF1Zt7NqA
-----------------------------------------------

ගීතයේ සමහර පද මට තවමත් පැහැදිලි නෑ. නමුත් මට හැඟුනේ මෙය යම් හේතුවක් මත ගොඩනැගුනු සමාජ බලපෑමක් නිසා ප්‍රේමයෙන් පරාජය වූ යුවලක පෙම්වතා ගයන ගීයක් ලෙසයි. එලෙසම මෙය දෙමාපිය බලපෑමක් නිසා ආදරයෙන් තොරව බලෙන් විවාපත් වූ යුවලක් ගයන ගීතයක් වීමටද හැකියි.

"සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
බාල වයසින් මැරුණු ප්‍රේමයකි තරු එළිය"

අහසේ දිදුලන සඳ උපමා කරන්නට ඇත්තේ ප්‍රේමයෙන් දිනූ අයෙකුට විය හැකියි. සඳ බබලන විට තරු එළිය මැලවෙනව. ඒත් සඳට දොස් පවරන්නේ ඇයි? අන්‍යයන්ට ඊර්ෂ්‍යා නොකරන්නට ව්‍යංගයෙන් දෙන ඔවදන කොයි තරම් අගනේද?

"කටුක දුක් විරහ මැද අතරමං වී ගියද
අපි තවම පෙම් කරමු අපේ ජීවිත වලට"

ගීතයේ මං ආසම පද පෙල. බලන්න කොතරම් දුකේ ගැලුනත් ජීවිත වලට පෙම් කල යුතු බව කියන අපූරුව.

දිනකට කී දෙනක් විරහව නිසා දිවි තොර කරගන්න හදනවද? මෙවන් ගීත ඔවුනුත් අසනවා නම්....

කපුගේගේ ගීත ගැනත් වදනක් කිව යුතුමයි. ඔහු තරම් සමාජය ගැන, දුප්පතා ගැන, විරහව, දුක, කඳුල ගැන ගී ගැයූවෙක් ඇත්දැයි මම දන්නේ නෑ. ඒ හඬට මෙවන් පද පෙලක් එක් වූ විට මැවෙන්නේ රසික හද කළඹන, නෙතඟට කඳුලු කැන්දන මහා විලාපයක්මයි...

ලසිත