Friday, November 8, 2019

ජීවිතයට මිනිත්තුවක් - බිරිඳ නොහොත් අම්මා

ප්‍රේමය ගැන, පෙම්වතිය ගැන කොච්චර නම් ගීත ලියැවිලා තියෙනවද! ඒත් ඒ පෙම්වතියම බිරිඳක් උනාම ඇය ගැන ගීත ලියැවෙන්නේම නැති තරම්. විවාහ ජීවිතය ඒ තරම්ම කටුකද? නීරසද?

සුනිල් ආරියරත්නයන් ලියූ අමරදේවයන්ගේ හඬින් රෝහණ වීරසිංහයන්ගේ තනුවට ගැයෙන මේ ගීතය තරම් ලස්සනට බිරිඳකගෙ ආදරය ගැන ලියවුණු ගීතයක් තවත් නෑ.

තාත්තා වුනත් මා බත සරිකරන

අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින ...


මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්

රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්

ඔබ දුටු මුල් දිනේවත් හදනොනැඟි පෙමින්

උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්


තමන්ට පණ වගේ ආදරය කරපු ඒ ළබැඳියගෙ ආදරය බෙදිල, ඒකෙන් ලොකු පංගුව දරුවන්ට දෙනකොට තාත්තා කෙනෙත්ට දුකක් දැනෙන එක අසාදාරණ නෑ. ඒක ආත්මාර්තකාමීකමක් නෙමෙයි. ආදරය එහෙමයි. නමුත් තමන්ට හිමිව තිබූ ඒ ආදරය වැඩි වැඩියෙන් දරුවන්ට දෙනකොට මේ තාත්තටනම් දුකක් දැනිල නෑ. කොච්චර අපූරුද!


බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ

අතදරු පුතුගෙ මුව කමලේ ඇත නිබඳ

අම්මා කෙනෙක් මිස නුඹ මගෙ බිරිඳ ලෙස

නොහැගේ ලඟින් හිඳ මගේ හිස සිඹින සඳ..


බිරිඳකගෙ ආදරය ගැන කියන්න මේ අන්තිම පද දෙකට වඩා ලස්සන පද දෙකක් ලියන්න පුලුවන් සුනිල් ආරියරත්නයන්ටම පමණයි!

අහල නැතිනම් අද අහන්න.

ලසිත






Wednesday, September 4, 2019

ජීවිතයට මිනිත්තුවක් - මිත්‍යාව හා විශ්වාසය

හඳහාමී අප දිහාව - එබී බලයි පා හිනාව
සිහිල් සුළං රැල් විඳින්න - දොරට යන්න හොඳ වෙලාව

පුංචි කාලෙ අපි නැළවෙච්ච මේ සිංදු අදත් මේ රටේ කොහේ හරි ගැයෙනව ඇති. පණ තියෙන හඳහාමි ගැන කතා අහ අහ හිටියට මිනිස්සු හඳ තරණය කරලම දැන් අඩ සියවසක් වෙනව. අපේ කේන්දර කොටු වලට පැනල විවාහ කටු ගාන කුජ මත්තෙ යානා ගිහිල්ල පස් අරගෙනත් ඇවිල්ල ඉවරයි.

ඔව්, අපි හරි භෞතිකවාදී මිනිස්සු. විද්‍යාත්මක දැණුමට ගෝචර නොවෙන දේවල් අපි විශ්වාස කරන්නෙ නෑ.

ඒත් අපි අතර ඉන්න බොහෝ දෙනා සමාජයේ පැළපදියම් වෙලා තියෙන විශ්වාස අත අරින්න හරිම මැලියි. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ

ගොල්ලො මෝඩද?

සමහරු ඔව්. සමහරු නෑ!

විභාගෙකට යන්න කලින් බෝධි පූජාවක් කරල, දේවාලෙට පඬුරක් ගැට ගහල එයාලා ප්‍රාර්ථනා කරන්නෙ දරුවන්ගෙ යහපත විතරයි. නොපෙනුනත් මොනයම් හරි බලවේගෙකින් මොකක් හරි නරකක් දරුවෙක්ට උනොත් කියන බය අයගෙ හිතේ රජ කරනව. ඒක තමයි ආදරය.

වගේම සමහරු හූනියම්, අන වින, කොඩිවින ආදී නා නා දේවල් කරනව. අන්න ඒකනම් අමුම අමු තකතීරු මෝඩකම!

එතකොට අපි මොකද කරන්නෙ?

අපි විශ්වාස නොකලත් ඒ අය කරන මොකක් හෝ දෙයින් නරක ප්‍රතිපලයක් එන්නෙ නැත්තම්, ජීවිතේ කිසිම දෙයක් ප්‍රමාද වෙන්නෙ නැත්තම්, අතපසු වෙන්නෙ නැත්තම්, ඒවාට හරස් කපන්න හොඳ නෑ කියලයි මම හිතන්නෙ. අපි ඒවට විරුද්ධ වුනොත් අපිට නරකක් වෙයි කියන බය නිසා එයාලගෙ හිතේ හැම මොහොතකම හොල්මන් කරයි. අහඹුවකින් හරි විපතක් උනොත් මුලු ජීවිතේම අය  හිතින් මැරි මැරී ඉපදේවි. ඇයි ඉතින් අපි එහෙම වෙන්න ඉඩ තියන්නෙ? හැබැයි ආයිත් කියන්නෙ ඒ විශ්වාසයක් නිසා ජීවිතේ ගන්න තියෙන වැදගත් තීරණේකට බාදාවක් නම් වෙන්න දෙන්න එපා!

අන්න නිසයි, මම ගෙදරින් යනකොට පූසෙක් යනව දැකල අම්ම ඉන්න කිව්වොත් මම ටිකක් ඉඳල යන්නෙ!

සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවද නොකරමි එය ගැරහීම
 !
(විමලරත්න කුමාරගම - අයියනායකය)
ලසිත


Tuesday, September 3, 2019

ජීවිතේට මිනිත්තුවක් - තාත්තා හා දුව.


කිරල් අම්මලා බිත්තර රකින්නෙ කකුල් අහසට උස්සගෙන කියල ජන වහරෙ කියවෙනව. ඒ කොයි මොහොතක හරි අහස කඩාගෙන වැටුනොත් තමන්ගෙ පුංචි පැටවුන් බේරගන්න. අන්න එහෙමයි දෙමව්පියො දරුවන්ට ආදරේ කරන්නෙ. ඉඳල හිටල පත්තරේ ළමයෙක් විසික්ක කලා කියල දැක්කට අපේ රටේ අම්මල තාත්තල දරුවන්ට කරන ආදරේ එක දසමයක්වත් අඩු වෙලා නෑ. ඒ අම්මලත් මානසික ලෙඩකින්වත් එහෙම කලොත් මිසක් හිතල දරුවෙක්ට එහෙම කරයි කියල මං විශ්වාස කරන්නෙ නෑ.

ඔය ආදරේ හැම තැනම තිබ්බට තාත්තා කෙනෙක් දුවට තියෙන ආදරේ හරි වෙනස්ලු. මම ඉතිං කොල්ල හිංද ඒක කොහොමද දන්නෙ! අපේ ගීත අතරේ දුවක් දීග දෙන දවසට තාත්තාගේ හැඟීම තියවෙන ගීත ගොන්නක්ම තියෙනව. ඒ අතරින් ලස්සනම ගීතයක් තමයි අමරදේවයන් ගයන 'කුල ගෙදරට පිය ඔසවන' ගීතය. 


කුල ගෙදරට පිය ඔසවන දියණිය
කිමද නෙතඟ කඳුලැලි පුරවාගෙන
නාඬන් දියණියණේ..
නුඹේ මවත් කැන්දන් ආ දිනයේ
කඳුළු සැලූ බැව් මතක තියේ මට
නුඹ ඉපදුනු දා ඒ උණු කඳුලැලි
පෙරලෙනු දුටුවෙමු සතුටු සිනාවට
ලෝකය වෙනුවෙන් හැදුවා පමණකි
අපහට කිසිදා උරුම නොවේ ඔබ
කඳුළක්‌ සුසුමක්‌ සිනා රොදක්‌ මැද
යළි යළි ඉපදී ජීවත් වනු මැන

පද - බර්ටි ජයසේකර

මේ ගීතයේ මං වැඩියෙන්ද ආස කරන්න අන්තිම පද දෙකට. තාත්තලා කැමති නෑ දුවෙක්ගෙ කඳුලක් දකින්න. ඒත් මේ ලෝකෙ කාටද පුලුවන් කඳුලක් හෙලන්නෙ නැතුව ඉන්න? දුවක් ලොකු කරනකන් අනේක දුක් ගැහැට විඳින තාත්තලා දන්නව ජීවිතේ අපි හිතන තරම් සුමට නෑ කියල. ඒ හැල හැප්පීම් වලට මුහුණ දුන්නම ඉගෙන ගන්න පාඩම් වලින් අපි දවසින් දවස අලුත් වෙනව. අලුතෙන් ඉපදෙනව. ඒ යථාර්තය මේ තාත්තා කියන අපූරුව!

අහලා නැත්තම් අහන්න! https://www.youtube.com/watch?v=OcihQn6K5vo


ලසිත හේරත්