හඳහාමී අප දිහාව - එබී බලයි පා හිනාව
සිහිල් සුළං රැල් විඳින්න - දොරට යන්න හොඳ වෙලාව
පුංචි කාලෙ අපි නැළවෙච්ච මේ සිංදු අදත් මේ රටේ කොහේ හරි ගැයෙනව ඇති. පණ තියෙන හඳහාමි ගැන කතා අහ අහ හිටියට මිනිස්සු හඳ තරණය කරලම දැන් අඩ සියවසක් වෙනව. අපේ කේන්දර කොටු වලට පැනල විවාහ කටු ගාන කුජ මත්තෙ යානා ගිහිල්ල පස් අරගෙනත් ඇවිල්ල ඉවරයි.
ඔව්, අපි හරි භෞතිකවාදී මිනිස්සු. විද්‍යාත්මක දැණුමට ගෝචර නොවෙන දේවල් අපි විශ්වාස කරන්නෙ නෑ.
ඔව්, අපි හරි භෞතිකවාදී මිනිස්සු. විද්‍යාත්මක දැණුමට ගෝචර නොවෙන දේවල් අපි විශ්වාස කරන්නෙ නෑ.
ඒත් අපි අතර ඉන්න බොහෝ දෙනා සමාජයේ පැළපදියම් වෙලා තියෙන විශ්වාස අත අරින්න හරිම මැලියි. විශේෂයෙන්ම අපේ දෙමව්පියෝ.
ඒ ගොල්ලො මෝඩද?
සමහරු ඔව්. සමහරු නෑ!
විභාගෙකට යන්න කලින් බෝධි පූජාවක් කරල, දේවාලෙට පඬුරක් ගැට ගහල එයාලා ප්‍රාර්ථනා කරන්නෙ දරුවන්ගෙ යහපත විතරයි. නොපෙනුනත් මොනයම් හරි බලවේගෙකින් මොකක් හරි නරකක් දරුවෙක්ට උනොත් කියන බය ඒ අයගෙ හිතේ රජ කරනව. ඒක තමයි ආදරය.
ඒ වගේම සමහරු හූනියම්, අන වින, කොඩිවින ආදී නා නා දේවල් කරනව. අන්න ඒකනම් අමුම අමු තකතීරු මෝඩකම!
එතකොට අපි මොකද කරන්නෙ?
අපි විශ්වාස නොකලත් ඒ අය කරන මොකක් හෝ දෙයින් නරක ප්‍රතිපලයක් එන්නෙ නැත්තම්, ජීවිතේ කිසිම දෙයක් ප්‍රමාද වෙන්නෙ නැත්තම්, අතපසු වෙන්නෙ නැත්තම්, ඒවාට හරස් කපන්න හොඳ නෑ කියලයි මම හිතන්නෙ. අපි ඒවට විරුද්ධ වුනොත් අපිට නරකක් වෙයි කියන බය නිසා එයාලගෙ හිතේ හැම මොහොතකම හොල්මන් කරයි. අහඹුවකින් හරි විපතක් උනොත් මුලු ජීවිතේම ඒ අය හිතින් මැරි මැරී ඉපදේවි. ඇයි ඉතින් අපි එහෙම වෙන්න ඉඩ තියන්නෙ? හැබැයි ආයිත් කියන්නෙ ඒ විශ්වාසයක් නිසා ජීවිතේ ගන්න තියෙන වැදගත් තීරණේකට බාදාවක් නම් වෙන්න දෙන්න එපා!
අන්න ඒ නිසයි, මම ගෙදරින් යනකොට පූසෙක් යනව දැකල අම්ම ඉන්න කිව්වොත් මම ටිකක් ඉඳල යන්නෙ!
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරීම
කෙම්මුර දවස් වල පහනින් සැරසීම
වන අතු කඩා ගස් දෙබලක දැවටීම
මා නොකෙරුවද නොකරමි එය ගැරහීම !
(විමලරත්න කුමාරගම - අයියනායකය)ලසිත
No comments:
Post a Comment